03/10/2026
01 කොටස ( කොටස් 02 ක කෙටි කතාවකි )
නිහඬ කුණාටුවක පිපුණු මලක්
ගෝසිප් සාප්පු, තේ කඩ සහ පරණ බස් නැවතුම අසලින් දිවෙන ඒ පුංචි නගරයේ හැමෝම වාගේ සුදර්ශනීව දැන සිටියහ. පාන්දර පහ වන විටත් ඇගේ පුංචි බේකරියෙන් පිටවන උණුසුම් පාන් සහ බනිස් සුවඳ නගරයේ වීදි පුරා පැතිර යයි. ඒ සුවඳ පිටුපස තිබුණේ ගැහැනියකගේ දහඩිය, කඳුළ සහ නොසැලෙන උත්සාහයයි. නමුත් ඒ සුවඳවත් ඇගේ ජීවිතයේ තිබූ තිත්තකම මකා දැමීමට සමත් වූයේ නැත
"සුදර්ශනී! තමුසෙට තාම බැරි වුණාද මේ බනිස් ටික තට්ටුවලට දාන්න? මං කී පාරක් කියන්නද තමුසෙට?"
නගරයේ පාර අයිනේ පිහිටි 'සුදර්ශනී බේකරිය' ඇතුළෙන් පිටතට ඇසුණේ රොෂාන්ගේ කටුක, සැර හඬයි.
බේකරියේ පිටි අනන සේවකයන් වූ සුමනසේන සහ තරුණ නිමල් බිම බලාගෙන තමන්ගේ වැඩ කරගෙන ගියහ. ඔවුන්ගේ මුහුණුවල තිබුණේ උපහාසයට ආසන්න නිහඬතාවයකි. හිමිකාරිය වන සුදර්ශනීට ඇගේ සැමියා අන් අය ඉදිරියේ මෙසේ බැණ වදින විට, සේවකයන් තුළ ඇය කෙරෙහි තිබූ ගෞරවයද දිනෙන් දින දියවී ගොස් තිබුණි.
සුදර්ශනී මුකුත්ම නොකියා හිස පහත් කරගත්තාය. ඇගේ ඇස් අගින් ඉගිළුණු කඳුළු බිංදුවක් උණුසුම් පිටි ගෝනිය මතට වැටී දියවී ගියේය.
අවුරුදු හතකට පෙර තත්ත්වය මීට හාත්පසින්ම වෙනස් විය.
රොෂාන් සහ සුදර්ශනී පෙම්වතුන් වී සිටි කාලයේ රොෂාන් තරම් සුදර්ශනීගේ පවුලට ලැදි වෙනත් අයෙකු සිටියේ නැත. ඇගේ අම්මා සාදන තේ කෝප්පය, තාත්තාගේ පැරණි කතාබහ රොෂාන්ට මහත් අගනා දේවල් විය.
"ඔයාගේ පවුල මගේම පවුල වගේ සුදූ," රොෂාන් එදා කීවේ ඇගේ දෑතින් අල්ලාගනිමිනි.
නමුත් විවාහයෙන් පසු සියල්ල උඩුයටිකුරු විය. රොෂාන්ගේ සිත තුළ යම්කිසි පැහැදිලි කළ නොහැකි ඊර්ෂ්‍යාවක් සහ ක්‍රෝධයක් පැළපැදියම් විය. සුදර්ශනීගේ දෙමාපියන් කරන පුංචිම හෝ අතපසුවීමක්, වැරදි වචනයක් මහමෙරක් කරගත් රොෂාන්, ගෙදරදී සුදර්ශනී සමඟ රණ්ඩු කළේය.
"තමුසෙගේ අම්මලා හිතන්නේ මම උන්ගේ වැඩකාරයා කියලද? උන් මහ කුහක මිනිස්සු!" රොෂාන් නිතරම කෑගැසුවේය.
දිනක් සුදර්ශනීගේ තාත්තා තමන්ගේ පැරණි මොරිස් මයිනර් කාර් රථය බේකරිය අසල නතර කර, එහි එන්ජිමේ යම් අලුත්වැඩියාවක් කිරීමට තෙල් පරීක්ෂා කළේය.
ඒ වාහනය පාවිච්චි කළේ රොෂාන් සහ සුදර්ශනී වුවද, එහි අයිතිය තිබුණේ තාත්තාගේ නමටය. තාත්තා වාහනයේ ඇණයක් හෝ ඇල්ලූ විට රොෂාන් යක්ෂයෙකු මෙන් ආවේශ විය.
"තමුසෙගේ තාත්තා මොකටද මගේ වාහනේ අල්ලන්නේ? උන්දැට ඕන නම් වෙන වාහනයක් අරන් යන්න කියනවා! මාව මරන් කන්න හදන්න එපා සුදර්ශනී!" රොෂාන් නිවසේදී කෑගසමින් වීදුරු කෝප්පයක් පොළවේ ගැසුවේය.
"රොෂාන්, ඒ තාත්තගේ වාහනේනේ... එයා නිකන් බලන්නේ..." සුදර්ශනී හඬමින් කීවාය.
"තමුසෙ කටවහපන්! උඹලගේ පවුලේ උන් මාව පාගන්න හදන්නේ!"
එදා රෑ පුරාම සුදර්ශනී ඇඬුවාය. අවසානයේදී, පවුලේ අභ්‍යන්තර රණ්ඩුවලට තිත තැබීමට සිතූ සුදර්ශනී, තාත්තා සමඟද රණ්ඩු වී, එම වාහනය විකුණා දමා වෙනත් කුඩා වාහනයක් ගත්තේය. ඇය සිතුවේ ප්‍රශ්නය විසඳෙනු ඇති බවයි. නමුත් ප්‍රශ්නය තිබුණේ වාහනයේ නෙමෙයි, රොෂාන්ගේ සිතේය.
දිනෙන් දින බේකරියේ වෙළඳාම අඩු විය. රටේ පවතින ආර්ථික තත්ත්වයත් සමඟ මිනිසුන් කෙටි කෑම ගැනීම අඩු කර තිබුණි. නමුත් රොෂාන්ට ඒ කිසිවක් අදාළ වූයේ නැත.
"තමුසේ හින්දයි මේ බිස්නස් එක වටෙන්නේ! තමුසෙට බිස්නස් කරන්න තේරෙන්නේ නැහැ!" රොෂාන් සියලු චෝදනා සුදර්ශනී පිට පැටවූයේය.
ව්‍යාපාරයේ කටයුතු අවසන් කර, කඩය පිරිසිදු කර, රාත්‍රී ආහාරයද සූදානම් කර සුදර්ශනී රොෂාන්ට කතා කළාය.
"රොෂාන්... වැඩ ඉවරයි. දැන් ගෙදර යමුද? රෑ වෙනවනේ..." ඇය ඉතා ආදරයෙන්, මෘදුව කීවාය.
නමුත් රොෂාන්ගේ මුහුණ කලු විය. "තමුසෙට මම කලින් ආවම ඔක්කොම හරිද? මට වෙන වැඩ නැද්ද? තමුසේ යන්න ඕන නම් යනවා මගේ ඔළුව කන්නේ නැතුව!" ඔහු සේවකයන් ඉදිරියේම ඇයට බැණ වැදුණි.
සුදර්ශනීගේ හිස ගිනිගන්නාක් මෙන් විය. ඇය නිහඬවම නිවසට පැමිණියාය. ගෙදර සාලයේ පුංචි දියණිය සෙල්ලම් කරමින් සිටි අතර, අවුරුදු හයක් වූ ලොකු පුතා සාලයේ පත්තර කැබැල්ලක් කපමින් සිටියේය.
බේකරියෙන් ආ මානසික පීඩනය, සැමියාගේ නින්දිත වචන, සහ සේවකයන්ගේ උපහාසාත්මක බැල්මෙන් මනස විකාර වී සිටි සුදර්ශනීට, පුතා අතින් කඩදාසි කැබලි සාලය පුරා වැටී තිබෙනු පෙනුණි.
"තමුසෙට කී පාරක් කියන්නද මේවා මෙතන දාන්න එපා කියලා!" සුදර්ශනීගේ කටින් පිටවූයේ රොෂාන්ගේම හඬයි. ඇය වේගයෙන් ගොස් පුංචි පුතාගේ අතින් ඇද, පස්සට සහ පිටට පාරවල් කිහිපයක් ගැසුවාය.
"අම්මේ... රිදෙනවා අම්මේ... මං ආයේ කරන්නේ නෑ..." පුංචි පුතා කෑගසා හඬන්නට විය.
මතු සම්බන්ධයි. ( තව එක කොටසයි තියෙන්නේ.. හෙට දෙනවා ඒක.. පේජ් එක ෆලෝ කරල තියාගන්න )
ශානි✍️
.................................
අලුපාට හීන කතාව දැනට ලියන එක නතර කරලා තියෙන්නේ ලමයි... ඒ කතාව ඉක්මනින්ම අරන් එන්නම් ඉස්සරහට.. ඔයාලා හැමොම තරහ නැතුව මාත් එක්ක දිගටම ඉදී කියලා මම හිතනවා